බුදුදහමට අපහාසාත්මක අන්තර්ගත ඇතුළත් WhatsApp සමූහයක් නිර්මාණය කර දළදා මාළිගාව, ජය ශ්‍රී මහා බෝධිය, ථූපාරාමය සහ දඹුලු විහාරය ඇතුළු ප්‍රධාන ආගමික ස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවට පණිවිඩ හුවමාරු කළ බවට සැකපිට 21 හැවිරිදි තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද (01) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
රංගිරි දඹුලු විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ධානියගම ආනන්ද හිමියන් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විමර්ශන ආරම්භ කර තිබේ.
අන්තර්ජාල අවේක්ෂණ හා බුද්ධි ඒකකයේ නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී සැකකරු ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී ඇත.
ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂාවේදී ජංගම දුරකථනයේ තිබී බුදුන්වහන්සේගේ රුව විකෘති කර සකස් කළ ඡායාරූප කිහිපයක්ද සොයාගෙන තිබේ.
ආගමික ස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවට WhatsApp හරහා පණිවිඩ හුවමාරු කිරීම සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී එය විනෝදාස්වාදය සඳහා සිදුකළ බව ඔහු පවසා ඇති බව විමර්ශන නිලධාරීන් සඳහන් කර ඇත.

