උණ රෝග ලක්ෂණ පෙන්වන ළමුන් ප්‍රමාදයකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා සඳහන් කළේ, අත්බෙහෙත් කිරීම හෝ ප්‍රතිකාර ප්‍රමාද කිරීම හේතුවෙන් දරුවන්ගේ ජීවිත අනතුරට ලක්විය හැකි බැවින් එවැනි ක්‍රියාමාර්ගවලින් වැළකිය යුතු බවයි.
ඔහුගේ ප්‍රකාශයට අනුව, මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු රෝගයෙන් පෙළෙන ළමුන් 50කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබන අතර, ඉන් සැලකිය යුතු පිරිසක් අසාධ්‍ය තත්ත්වයේ පසුවෙති. රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් රෝහල් ධාරිතාවටද බලපෑම් ඇතිවිය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
දරුවෙකුට පැය 24කට වැඩි කාලයක් උණ පවතින්නේ නම් ළඟම ඇති රජයේ රෝහලට ගොස් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය බවද විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.
මේ අතර ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ, ගම්පහ, කොළඹ, මාතර, මහනුවර, කළුතර, රත්නපුර, ගාල්ල, කුරුණෑගල, කෑගල්ල, හම්බන්තොට සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් තවදුරටත් සැලකිය යුතු ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බවයි.
එමෙන්ම, මේ වසර තුළ වාර්තා වූ ඩෙංගු මරණ 61න් 47ක්ම කාන්තාවන් වන අතර, උණ පවතින්නේ නම් ඩෙංගු බවට සැක කර වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවී අවශ්‍ය රුධිර පරීක්ෂණ සිදුකර වෛද්‍ය උපදෙස් පිළිපදින ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
උණ ඇති ළමුන් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න – සෞඛ්‍ය අංශවල ඉල්ලීම

