Homeසියලුම පුවත්එල්නිනෝ හමුවේ සෞඛ්‍යයට දැඩි අවදානමක්

එල්නිනෝ හමුවේ සෞඛ්‍යයට දැඩි අවදානමක්

පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය හමුවේ හිරු රශ්මියට නිරාවරණය වීම තුළින් බොහෝ රෝග වැලඳිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ, පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය පැවසීය.

අද (19) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇය මේ බව කියා සිටියේය.

මෙම අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් සමේ ඇතිවන කුෂ්ඨ සහිත තත්ත්වයන්, මස්පිඩු පෙරළීම මෙන්ම අධික උෂ්ණත්වයට නිරාවරණය වීම තුළින් ජීවිත පවා අහිමි වීමේ හැකියාව පවතින බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම තත්ත්වයන්ට මුහුණදීමේ වැඩිම අවදානමක් ඇති කාණ්ඩ ලෙස කුඩා දරුවන්, වැඩිහිටි පුද්ගලයන් මෙන්ම බෝ නොවන රෝග, නිදන්ගත රෝග පවතින පුද්ගලයින් හඳුනාගත හැකි බව ද වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය පැවසීය.

මේ අතර, එළිමහන් ස්ථානවල කාර්යයන් සිදුකරනු ලබන පුද්ගලයින්ද, කෘෂිකර්මාන්තයේ නියැලෙන පිරිසට ද මෙම තත්ත්වය හේතුවෙන් දැඩි අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය කියා සිටියාය.

විශේෂයෙන්ම මෙම සෞඛ්‍ය ගැටලු අවම කිරීම සඳහා දහවල් 11.00 සිට සවස 3 දක්වා වූ කාලසීමාව තුළ අධික හිරු රශ්මියට නිරාවරණය නොවීම වැදගත් බවද ඇය සඳහන් කළාය.

“සම වියළීමක් වෙන්න පුළුවන් මේකට වතුර පුළුවන් තරම් බොන්න ඕනි. වතුර බීම තුළින් ඒ තත්ත්වය අවම කර ගන්න පුළුවන්. ප්‍රමිතිගත ආලේපන වර්ග භාවිතා කරන්න පුළුවන්. එතුළින් මේ තත්ත්වය අවම කර ගන්න පුළුවන්. උණු කරපු සිසිල් පැන්භාවිතා කරන්න. සිසිල් කියන්නේ ශීත කරපු වතුර කියන එකම නෙවෙයි.”

තවද, ජලය පානය කිරීම, ලා පැහැති ඇඳුම් ඇදීම, හිස ආවරණය කිරීම මෙන්ම විශේෂයෙන්ම නිදන් ගත රෝග ඇති පුද්ගලයින් ඖෂධ නිසි මාත්‍රාවට භාවිත කිරීම ඉතා වැදගත් සාධකයක් බව ද වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය පැවසීය.

මෙම තත්ත්වය කළමනාකරණය කරමින් කටයුතු කිරීම සඳහා සියලු ආයතන සමඟ එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

මෙම එල්නිනෝ තත්ත්වය හමුවේ පාසල් ළමුන් සුරක්ෂිත කර ගැනීම සඳහා දැනටමත් අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව කටයුතු සිදුකර ඇති බව පැවසූ වෛද්‍යවරිය දරුවන්ට පාසල් අවසන්වන වේලාවට හිස් ආවරණයක්, කුඩයක් භාවිත කළ යුතු බවත් අනවශ්‍ය ලෙස එළිමහනේ සෙල්ලම් කිරීම අවම කිරීම සහ හැකි තරම් සෙවණ සහිත ස්ථානවල සිසුන් ගැවසීම වැදගත් බවද ඇය පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments