Homeසියලුම පුවත්කතරගම - බුත්තල මාර්ගයේ වනඅලින්ට ආහාර දුන්නොත් නීතිමය පියවර

කතරගම – බුත්තල මාර්ගයේ වනඅලින්ට ආහාර දුන්නොත් නීතිමය පියවර

කතරගම – බුත්තල මාර්ගයේ රැඳීසිටින වනඅලින්ට ආහාර ලබාදෙන රථවාහන රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

වනඅලින්ට ආහාර ලබාදීම හේතුවෙන් ඔවුන් මාර්ගය ආශ්‍රිතව රැඳීසිටීමට හුරුවී ඇති අතර, එම තත්ත්වය හේතුවෙන් රථවාහන වෙත වනඅලි ප්‍රහාර එල්ලවීමේ අවදානම ඉහළ ගොස් ඇති බව වනජීවී නිලධාරීන් පෙන්වා දෙයි.

මේ වනවිට කතරගම – බුත්තල මාර්ගයේ වනඅලි අටදෙනෙකු පමණ රථවාහන නවතා ආහාර ලබාගැනීමට හුරුවී සිටින බව සඳහන් වේ.

දිනකට රථවාහන 2,000කට අධික සංඛ්‍යාවක් මෙම මාර්ගය ඔස්සේ ගමන් කරන අතර, කතරගම වන්දනාකරුවන් මෙන්ම මොනරාගල, වැල්ලවාය සහ බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශවලට ගමන් කරන විශාල පිරිසක්ද මෙම මාර්ගය භාවිත කරති.

මාර්ගයේ රැඳී සිටින වනඅලින්ට ආහාර නොදුන් අවස්ථාවලදී ඔවුන් රථවාහන වෙත පහරදීමට සහ වාහන පෙරළීමට උත්සාහ කළ අවස්ථාද වාර්තා වී තිබේ.

මෑතකදී වනඅලියෙකු බස් රථයකට පහරදීමෙන් එම බස් රථය පෙරළී පුද්ගලයින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද සඳහන් වේ.

පසුගිය වසර හයක කාලය තුළ වනඅලි විසින් රථවාහනවලට සිදුකළ පහරදීම් හේතුවෙන් කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වනජීවී නිලධාරීන් පවසයි.

එමෙන්ම වසරකට රථවාහන සියයකට අධික සංඛ්‍යාවකට වනඅලි ප්‍රහාර හේතුවෙන් හානි සිදුවන බවද ඔවුන් සඳහන් කරයි.

යාල ජාතික වනෝද්‍යානයේ අංක දෙක කලාපයට අයත් මෙම මාර්ගය ඔස්සේ ගමන් කිරීමට ජනතාවට අවසර ලබාදී තිබුණද, වාහනවලින් බැස වනසතුන්ට ආහාර ලබාදීම නීතිවිරෝධී ක්‍රියාවක් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

කොරෝනා වසංගත සමයේ රථවාහන ගමනාගමනය සීමා වූ කාලය තුළ මෙම වනඅලි මාර්ගයේ රැඳී නොසිටි අතර, වනය තුළ ඇති ස්වභාවික ආහාර වෙත යොමුවී සිටි බවද නිලධාරීන් සඳහන් කරයි.

බස් රථ සහ සෆාරි ජීප් රථ රියැදුරන් විසින් වනඅලින්ට ආහාර ලබාදීම හේතුවෙන් ඔවුන් එම ආහාරවලට හුරුවී ඇති බවට වනජීවී දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඌව පළාත් වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ. ඉන්ද්‍රජිත් මහතා සඳහන් කළේ, වනජීවී ආඥා පනත යටතේ වනසතුන්ට පීඩා වන අයුරින් කටයුතු කිරීමේ වරද යටතේ ආහාර ලබාදෙන රථවාහන වීඩියෝගත කර, අදාළ පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments