Homeසියලුම පුවත්කොස්ගොඩ ඝාතන සැලසුමක් වැටලූ මෙහෙයුමෙන් ගිනිඅවි රැසක් සොයාගනී

කොස්ගොඩ ඝාතන සැලසුමක් වැටලූ මෙහෙයුමෙන් ගිනිඅවි රැසක් සොයාගනී

කොස්ගොඩ මහඉඳුරුව ප්‍රදේශයේදී පුද්ගලයින් සිව්දෙනෙකු ඝාතනය කිරීමට සූදානම්ව සිටි බවට සැක කෙරෙන පිරිසක් සම්බන්ධයෙන් සිදුකළ වැටලීමකදී තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

ඊයේ (03) රාත්‍රියේ අකාඩෙගොඩ ප්‍රදේශයේ නිවසක සැකකරුවන් පිරිසක් රැඳී සිටින බවට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරක් මත එම නිවස වැටලීමට නිලධාරීන් කටයුතු කර තිබේ.

වැටලීම අතරතුර පොලිස් නිලධාරීන් දුටු එක් සැකකරුවෙකු පොලිසිය දෙසට වෙඩි තබා ඇති අතර, ඊට පොලිසිය ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ. එහිදී සැකකරුවෙකු තුවාල ලබා ඇති අතර තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. තවත් අයෙකු පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

නිවස පරීක්ෂා කිරීමේදී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක්, එම පතොරම් සහිත මැගසිනයක්, රිවෝල්වරයක් හා එහි පතොරම්, තවත් මිලිමීටර් 9 මැගසිනයක් සහ පතොරම් මෙන්ම විදේශයක නිෂ්පාදිත අත්බෝම්බයක් සොයාගෙන තිබේ.

අපරාධය සඳහා යාමට සූදානම්ව තිබූ ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් ප්‍රතිප්‍රහාරයෙන් තුවාල ලැබූ සැකකරු බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 32 සහ 33 වන මහඉඳුරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සොයාගත් දේපළ කොස්ගොඩ පොලිසියට භාරදී ඇති අතර, කොස්ගොඩ පොලිසිය සහ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.

පොලිසිය සැක පළකරන්නේ ලොකු පැටී පාර්ශ්වයට සම්බන්ධ වෙඩික්කරුවන් විසින් කරන්දෙණිය සුද්දා පාර්ශ්වයේ පිරිසක් ඉලක්ක කර මෙම ඝාතන සැලසුම් කර ඇති බවටය.

රක්ෂිත බන්ධනාගාරගතව සිටින ලොකු පැටීගේ සහෝදරයා වන පොඩි පැටී පසුගිය 01 වැනිදා අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී ඝාතනයට ලක්ව තිබූ අතර, එම ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට උත්සාහ කර ඇති බවට පොලිසිය සැක පළ කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments