ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (08) පස්වරු 1.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිහි වස්ත්‍ර සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කළ ලිපිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
ඥානසාර හිමියන් ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් ඊයේ (07) බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබුණි.
එම ලිපියෙන් මහානායක හිමිවරුන් පෙන්වා දී ඇත්තේ, ඥානසාර හිමියන් එලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම පිළිබඳව තමන් දැඩි කනස්සල්ලට පත්වන බවයි.
භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම හෝ පැවිදිභාවය සම්බන්ධයෙන් තීරණ ගැනීම හුදෙක් රාජ්‍ය පරිපාලනමය හෝ බන්ධනාගාර රෙගුලාසිවලට පමණක් සීමා වූ කරුණක් නොවන බවද මහානායක හිමිවරුන් සඳහන් කර තිබේ.
එවැනි කරුණු සම්බන්ධයෙන් අදාළ නිකාය පාර්ශ්වයේ නිර්දේශ හා නියමයන් අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සුදුසු බවද ඔවුන් පෙන්වා දී ඇත.
ඒ අනුව අධිකරණ තීන්දුවට සහ බන්ධනාගාර නීතිවලට බාධාවක් නොවන අයුරින් ඥානසාර හිමියන්ගේ භික්ෂූත්වයට අගතියක් නොවන පරිදි කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසද මහානායක හිමිවරුන් ඉල්ලා තිබේ.

