හැටන් දික්ඔය නගරයේ අඹුසැමි යුවළක් ඝාතනය කර රන් භාණ්ඩ කොල්ලකා පලාගිය බව කියන සැකකරු සොයා ගැනීම සඳහා හැටන් පොලිසිය CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
පොලිසිය සඳහන් කළේ, ඉකුත් 21 වැනිදා සැකකරු තියුණු ආයුධයකින් යුවළ ඝාතනය කර කාන්තාව සතු පවුම් 18ක පමණ රන් භාණ්ඩ රැගෙන පලාගොස් ඇති බවයි.
විමර්ශන අනුව, සැකකරු එදින උදෑසන දික්ඔය නගරයට පැමිණ ස්වර්ණාභරණ වෙළෙඳසැල් කිහිපයකට ගොස් රන් මාලයක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා නගරය පුරා සැරිසරා ඇත.
පසුව පස්වරු 1.15ට පමණ අඹුසැමි යුවළ පදිංචිව සිටි වෙළෙඳසැලට ඇතුළු වී එහි සැඟව සිට ඇති අතර, ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව පස්වරු 5.30ට පමණ එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව පොලිසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය අපේක්ෂා කරන පොලිසිය, ඔහු පිළිබඳ තොරතුරු වෙතොත් හැටන් පොලිසිය වෙත දැනුම්දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
දික්ඔය ද්විත්ව ඝාතනයේ සැකකරු සොයා CCTV දර්ශන නිකුත් කරයි

