Homeසියලුම පුවත්නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කළ නඩුවේ සම්පූර්ණ විස්තරය

නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කළ නඩුවේ සම්පූර්ණ විස්තරය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන සැප්තැම්බර් 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (04) නියෝග කළේය.

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතා අද අත්අඩංගුවට ගනු ලැබීය.

2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ගුවන් යානා 14ක් මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බවට එවකට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගා නියෝමාලි විජේනායක මහත්මියට චෝදනා එල්ල වී තිබුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ආරම්භ කළ විමර්ශනයකට අදාළව කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර තිබූ අතර, ඔහු පසුගිය මැයි 08 වනදා අබිරහස් ලෙස මියගොස් සිටියදී සොයා ගැණුනි. එය සියදිවි නසාගැනීමක් බවට පොලීසිය සැක පළ කළේය.

ගුවන් යානා ගනුදෙනුව පිළිබඳ විමර්ශන අඛණ්ඩව සිදුකෙරෙන අතරතුර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත කැඳවා තිබුණි.

ඒ අනුව පෙරවරු 9.15ට පමණ කොමිසම හමුවේ පෙනී සිටි මන්ත්‍රීවරයා පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබූ අතර, එම අවස්ථාවේ දේශපාලන නියෝජිතයින් රැසක්ද අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටියහ.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා සඳහන් කළේ, එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම ඒකාබද්ධව සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත් බවයි.

ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ප්‍රංශය සහ අමෙරිකා එක්සත් ජනපදය යන රටවල අන්‍යෝන්‍ය සහයෝගයද ලබාගනිමින් විමර්ශන අවසන් අදියරට පැමිණ ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී ඔහු සඳහන් කළේ, ප්‍රශ්නගත ගනුදෙනුවේදී එයාර්බස් සමාගමෙන් යුරෝ මිලියන 1.454ක මුදලක් අල්ලස් ලෙස ලබාදී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

එම මුදලින් කොටසක් කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංගා නියෝමාලි විජේනායක මහත්මියට අයත් සිංගප්පූරුවේ BIZ Solutions INC ගිණුමකින්, නිමල් පෙරේරා මහතා සභාපතිත්වය දරන Sabre Vision Holding Ltd සමාගමේ සිංගප්පූරු OCBC බැංකු ගිණුමකට 2014 නොවැම්බර් 19 සහ දෙසැම්බර් 22 යන දිනවල අවස්ථා දෙකකදී තැන්පත් කර ඇති බවද අධිකරණයට ප්‍රකාශ කෙරිණි.

දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින නිමල් පෙරේරා මහතාගෙන් විමර්ශන නිලධාරීන් එරටදී ප්‍රකාශ ලබාගෙන ඇති අතර, මරණ තර්ජන පවතින බැවින් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි බව සඳහන් කරමින් ඔහු අල්ලස් කොමිසම වෙත දිවුරුම් ප්‍රකාශයක් ලබාදී ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

එම දිවුරුම් ප්‍රකාශයට අනුව BIZ Solutions INC ගිණුමෙන් Sabre Vision Holding Ltd ගිණුමට ලැබුණු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 08ක මුදලක් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 100ක් ලෙස නාමල් රාජපක්ෂ මහතා වෙත භාරදුන් බවට නිමල් පෙරේරා මහතා ප්‍රකාශ කර ඇති බවද අධිකරණයට දැනුම් දෙන ලදී.

එමෙන්ම එයාර්බස් මව් සමාගම ඕනෑම විමර්ශනයකට සහාය දැක්වීමට එකඟ වී ඇති බවත්, එහි ඉහළ නිලධාරීන් අවස්ථා තුනකදී ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රකාශ හතරක් ලබාදී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

ඒ අනුව අල්ලස් විරෝධී පනතේ 149 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකයක්ද ඉදිරිපත් කර ඇති බැවින් නාමල් රාජපක්ෂ මහතාට ඇප ලබා නොදී රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මේ අතර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ, තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ නිමල් පෙරේරා මහතාගේ ප්‍රකාශයක් මත පමණක් බවයි.

ප්‍රංශ නිලධාරීන් හෝ එයාර්බස් සමාගමේ නිලධාරීන් නාමල් රාජපක්ෂ මහතාට මුදල් ලබාදුන් බවට ප්‍රකාශ කර නොමැති බවද ඔහු පැවසීය.

එමෙන්ම නිමල් පෙරේරා මහතා සම්බන්ධයෙන් මීට පෙර ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවකදී වෙනස් ප්‍රකාශයක් සිදුකර ඇති බවත්, 2019 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ ප්‍රකාශ විශ්වාස නොකළ බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

එබැවින් එම කරුණු සුවිශේෂී තත්ත්වයක් ලෙස සලකා තම සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන සැප්තැම්බර් 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments