ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනා රුපියල් ලක්ෂ 51ක් වටිනා විදෙස් දුම්වැටි තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දී සිය භාරයට ගෙන තිබේ.
අද (19) අලුයම ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ‘හරිත මාවත’ ඔස්සේ එම දුම්වැටි පිටකරගෙන යාමට උත්සාහ කළ විදේශීය ගුවන් මගියෙකුද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 36 හැවිරිදි බංගලාදේශය ජාතික ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහු තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ TG-307 ගුවන්යානයෙන් මෙරටට පැමිණ තිබුණි.
ඔහු රැගෙන ආ ගමන් මලු දෙක තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 34,000ක් අඩංගු කාටූන් 170ක් සඟවා තිබූ බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
පසුව සිදුකළ රේගු පරීක්ෂණවලදී මෙම දුම්වැටි සියල්ල රාජසන්තක කර ඇති අතර, සැකකරුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවීමට නියෝග කර ඇති බවද වාර්තා වේ.
නීතිවිරෝධී විදෙස් දුම්වැටි තොගයක් කටුනායකදී රේගු භාරයට

