ආන්දෝලනයට තුඩුදුන් බහාලුම් 323ක් වරායෙන් පිටතට රැගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව දෙසැම්බර් 21 වනදාට පෙර නිකුත් කිරීමට කටයුතු කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.අදාළ වාර්තාව සකස් කිරීමේ අවසන් කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවද අමාත්යවරයා සඳහන් කළේය.මේ අතර, බහාලුම් 323 සම්බන්ධයෙන් පත්කළ පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව අතුරුදන් වී ඇති බවට පසුගිය දිනවල සමාජ මාධ්ය ඔස්සේ පැතිර ගිය ප්රචාර සම්පූර්ණයෙන්ම අසත්ය බවද ඔහු අවධාරණය කර තිබේ.එම කමිටුව කථානායකවරයා විසින් පත්කරනු ලැබූවක් බවත්, ඒ යටතේ සාක්ෂිකරුවන් 16 දෙනෙකුගෙන් සාක්ෂි ලබාගෙන ඇති බවත් අමාත්යවරයා පෙන්වා දුන්නේය.එම සාක්ෂිවලට අදාළ සියලු ලේඛන පාර්ලිමේන්තුව සතුව පවතින අතර ඒවා නිසි පරිදි වාර්තාගත කර ඇති බවද අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

