Homeසියලුම පුවත්මැදපෙරදිග ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ශ්‍රීලන්කන් ගුවන් යානා දෙකකට ගමන් මාර්ගයේ බාධා

මැදපෙරදිග ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ශ්‍රීලන්කන් ගුවන් යානා දෙකකට ගමන් මාර්ගයේ බාධා

මැදපෙරදිග කලාපයේ හටගත් යුදමය තත්ත්වය සහ ඒ හේතුවෙන් ගුවන් අවකාශය තාවකාලිකව වසා දැමීම නිසා, කටුනායක සිට කුවේට් සහ සෞදි අරාබියේ දමාම් බලා පිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා දෙකකට ගමන් කාලයේදී බාධා එල්ල වී තිබේ.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, අද (15) උදෑසන වන විට එම ගුවන් යානා දෙකම ආරක්ෂිතව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යළි පැමිණ ඇති බවයි.

වාර්තා අනුව, ඊයේ (14) පස්වරු 5.10ට යූ.එල්. 229 දරන ගුවන් යානය කුවේට්හි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලාත්, පස්වරු 6.36ට යූ.එල්. 253 දරන ගුවන් යානය දමාම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලාත් කටුනායකෙන් පිටත්ව ගොස් තිබුණි.

A321neo වර්ගයේ මෙම ගුවන් යානා මැදපෙරදිග කලාපයට ආසන්න වූ අවස්ථාවේ එම ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය උත්සන්න වී ඇති අතර, ඉරානය විසින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබූ බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

එම තත්ත්වය හමුවේ කුවේට් සහ සෞදි අරාබිය සිය ගුවන් අවකාශ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබූ අතර, ඒ හේතුවෙන් ශ්‍රීලන්කන් ගුවන් යානා දෙකට ගමනාන්ත වෙත ගොඩබැසීමට නොහැකි වී තිබේ.

එමෙන්ම, වහාම කටුනායක වෙත ආපසු පැමිණීමට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, ගුවන් යානා දෙක ආසන්න ගුවන් කලාපයේ පැයකට වැඩි කාලයක් පියාසර කරමින් රැඳී සිට ඇති බව සඳහන් වේ. පසුව ගුවන් අවකාශය යළි විවෘත කිරීමෙන් අනතුරුව ඒවා ආරක්ෂිතව ගොඩබැස්වීමට නියමුවන් කටයුතු කර තිබේ.

මෙම සිදුවීමත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තවත් ජාත්‍යන්තර ගුවන් යානා රැසකටද ගමන් සැලසුම් වෙනස් කිරීමට හෝ ඉහළ අහසේ රැඳී සිටීමට සිදු වූ බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments