හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ හිටපු සිවිල් ගුවන්සේවා අධිකාරි අධ්‍යක්ෂ අරුණ වරුණහැන්දිගේ යන අය ජූලි 03 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද (25) අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් තිදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” සම්බන්ධ විමර්ශන ලිහිල් කරදෙන බව පවසා ඔහුගේ බිරිඳ සහ තවත් පුද්ගලයෙකුගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගැනීමේ චෝදනා සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව විමර්ශන සිදු කෙරේ.
අල්ලස් කොමිසම පවසන්නේ, 2023 වසරේදී ඩුබායිහිදී පැවති හමුවකදී හරක් කටාට අදාළ නීතිමය සහ රැඳවුම් කටයුතු සම්බන්ධයෙන් බලපෑම් කළ හැකි බව පවසමින් මුදල් ඉල්ලා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.
පැය කිහිපයක් පුරා ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, වැඩිදුර විමර්ශන අවසන් වන තෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
රඛිත රාජපක්ෂ ඇතුළු තිදෙනා ජූලි 03 දක්වා රිමාන්ඩ්

