Homeසියලුම පුවත්රට රැකියා සිහිනය පෙන්වූ ව්‍යාජ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

රට රැකියා සිහිනය පෙන්වූ ව්‍යාජ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

ඊශ්‍රායලයේ ඉදිකිරීම් සහ හෝටල් ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් අයකළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (12) කාර්යාංශය තුළදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා කාර්යාංශයේ නිලධාරීන් ලෙස හැඟී යන පරිදි කටයුතු කරමින් රැකියා අපේක්ෂිතයින් කිහිපවරක් කාර්යාංශය තුළට කැඳවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එක් සැකකරුවෙකු බුත්තල ප්‍රදේශයේ පදිංචි, සේවය අත්හිටුවා ඇති පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර අනෙක් සැකකරු බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 7ක් සහ ඊශ්‍රායල් රැකියා ගිවිසුම් පත්‍රිකාද නිලධාරීන් භාරයට ගෙන ඇත.

මෙම ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (13) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සේවා ලබාගැනීමේදී කාර්යාංශයේ අදාළ නිලධාරීන්ගෙන් හෝ පිළිගැනීමේ කවුළුවේ නිලධාරීන්ගෙන් පමණක් තොරතුරු සහ සේවාවන් ලබාගන්නා ලෙසයි. එමෙන්ම කාර්යාංශය තුළ හෝ ඉන් පිටත රැඳී සිටින වෙනත් පුද්ගලයින් සමඟ ගනුදෙනු කිරීමෙන් වළකින ලෙසද දැනුම් දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments