දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් වැඩ වර්ජනයක නිරතව සිටියද දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකරගෙන යන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එහි ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා සඳහන් කළේ ඊයේ මෙන්ම අද දිනයේද සියලුම මාර්ගවල කාර්යාල දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවයි.
එම දුම්රිය සේවා අද සවසද නියමිත පරිදි ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවත්, කන්කසන්තුරේ සිට කොළඹ දක්වා නගරාන්තර දුම්රිය මෙන්ම කන්කසන්තුරේ – කොළඹ සහ කොළඹ – කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රියද ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවසීය.
කෙසේ වෙතත් දුම්රිය ධාවනයට පෙර මගී ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවද අසංක සමරසිංහ මහතා සඳහන් කළේය.
ඒ අනුව බදුල්ල – නානුඔය අතර දුම්රිය ධාවනය නොකළ බවත්, එම මාර්ගයේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට නොහැකි වීම ඊට හේතුව බවත් ඔහු පැවසීය. මඩකලපුව රාත්‍රී තැපැල් දුම්රියද ආරක්ෂාව තහවුරු කරගැනීමේ ගැටලුවක් හේතුවෙන් ධාවනය කිරීමට නොහැකි වූ බව සඳහන් කළේය.
මේ අතර, වැඩ වර්ජනය හේතුවෙන් කිසියම් දුම්රිය ස්ථානයක් වසා දමා ඇත්නම්, www.pravesha.lk වෙත පිවිස අවශ්‍ය ප්‍රවේශපත්‍ර ලබාගත හැකි බවත්, ඒ අනුව ප්‍රවේශපත්‍ර ලබාගැනීමට කටයුතු කරන ලෙසත් දුම්රිය දෙපාර්තමේන්තුව මගීන්ගෙන් ඉල්ලීමක් කරයි.
කොළඹ නගරාසන්න කාර්යාල දුම්රිය සේවාව සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කළ බවද ගමනාගමන අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

