පොලිස් නිලධාරීන් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් සහ ඔවුන්ගේ ඡායාරූප භාවිත කර සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් පැමිණිලි භාර ගැනීම සඳහා පොලීසිය හදිසි දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, මෙවැනි වංචා පිළිබඳව මීට පෙරද ජනතාව දැනුවත් කර තිබුණද තවදුරටත් පුද්ගලයින් එවැනි වංචාවලට ගොදුරු වන බව නිරීක්ෂණය වී ඇති බවයි.
පරිගණක සහ ජංගම දුරකථන භාවිත කරමින්, පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප ඇතුළත් ව්‍යාජ WhatsApp හා Telegram ගිණුම් නිර්මාණය කර මෙම වංචා සිදුකරන බවද පොලීසිය පවසයි.
කිසිදු විමර්ශනයක් සඳහා මහජනතාවගෙන් මුදල් අය කිරීමක් පොලීසිය විසින් සිදු නොකරන බව අවධාරණය කළ එම නිවේදනය, මෙවැනි වංචනික පුද්ගලයින් හෝ කණ්ඩායම් පිළිබඳව වහාම දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඒ අනුව, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ 071 859 2918, 071 859 1765 යන ජංගම දුරකථන අංක හෝ 011 230 0756 යන දුරකථන අංකය වෙත අදාළ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පොලීසිය දැනුම් දී ඇත.
ව්‍යාජ පොලිස් ඇමතුම් සහ මූල්‍ය වංචා ගැන පැමිණිලි කිරීමට නව දුරකථන අංක

