දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති නඩුවේ විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා සම්බන්ධයෙන් නියෝගය ඔක්තෝබර් 08 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
නඩුව අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, ඇප මත මුදාහැර සිටින ශෂින්ද්‍ර රාජපක්ෂ, හානිපූරණ කාර්යාලයේ හිටපු අධ්යක්ෂ සේපාලිකා සමන් කුමාරි සහ මහවැලි අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල් කීර්ති බණ්ඩාර කොටගම යන විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.
නඩු විභාගය අතරතුර විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් අල්ලස් කොමිසම ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කර තිබේ.
ඊට අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාර අධ්යක්ෂ ජනරාල් සුභාෂිනි සිරිවර්ධන මහත්මිය කරුණු ඉදිරිපත් කළ අතර, එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව මූලික විරෝධතා සම්බන්ධ නියෝගය ප්‍රකාශයට පත් කරන දිනය අධිකරණය නියම කළේය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 මැයි 09 වැනිදා ඇති වූ අරගලයේදී හානියට පත්ව තිබුණි.
පසුව එම දේපළ සඳහා වන්දි ගෙවීම නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබියදීත්, ඊට පටහැනිව කටයුතු කරමින් රුපියල් 8,850,000ක වන්දි මුදලක් ලබාගැනීම සඳහා නිල බලය භාවිත කරමින් රජයේ නිලධාරීන්ට බලපෑම් කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ.
එමඟින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම චෝදනා ඉදිරිපත් කර ඇත.

