සැප්තැම්බර් මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය අද (08) ආරම්භ වීමට නියමිතය.
පාර්ලිමේන්තුව අද සිට ලබන 11 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.
අද පෙරවරු 9.30ට කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, මෝටර් වාහන පනත යටතේ අංක 2489/22 සහ 2493/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද නියෝග දෙකක් අනුමත කිරීම සඳහා විවාදයට ගැනීමට නියමිතව තිබේ.
අනතුරුව විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.
හෙට (09) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර, සැප්තැම්බර් 10 වැනිදා කාන්තාවන් සවිබලගැන්වීමේ පනත යටතේ යෝජනා සම්මතය අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.
ලබන 11 වැනිදා පෞද්ගලික මන්ත්‍රී යෝජනා 7ක් විවාදයට ගැනීමට නියමිතව තිබේ.
මේ අතර, රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වීමට අවසර ලබාදී තිබේ.
පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් සිදුකරන ලද දැනුම්දීමකට අනුව නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි කරවීමට අවශ්‍ය පියවර ගන්නා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා සඳහන් කළේය.

