Homeසියලුම පුවත්සිරගත භික්ෂූන් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන විට සිවුරට අවසර දෙන්නැයි ඉල්ලීමක්

සිරගත භික්ෂූන් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන විට සිවුරට අවසර දෙන්නැයි ඉල්ලීමක්

බන්ධනාගාරගතව සිටින භික්ෂූන් වහන්සේලා යම් කටයුත්තක් සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී ගිහි ඇඳුම් වෙනුවට සිවුර පැළඳීමට නීතිමය අවස්ථාව සලසා දෙන ලෙස යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබේ.

සංගමයේ මහා ලේඛකාධිකාරී සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මොරවක සෝරත නායක හිමි සහ සභාපති ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය රත්මලේ පුඤ්ඤරතන නායක හිමි යන ස්වාමීන් වහන්සේලාගේ අත්සනින් යුතුව අදාළ ලිපිය යොමු කර ඇත.

අධිකරණ තීන්දු පිළිගැනීම සහ නීත්‍යානුකූලව වරදකරුවන් වී දඬුවම් විඳින භික්ෂූන් වහන්සේලා බන්ධනාගාර නීතිරීතිවලට යටත්වීම සාමාන්‍ය තත්ත්වයක් බවද සංගමය පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී භික්ෂූන් වහන්සේලා ගිහි ඇඳුමින් සිටින ආකාරය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම බෞද්ධ මෙන්ම අබෞද්ධ ජනතාව අතරද දැඩි කම්පනයක් ඇති කරන බව ඔවුහු සඳහන් කරති.

දඬුවම් කාලය අවසන් වීමෙන් පසු නැවත සමාජයේ ආගමික හා අධ්‍යාත්මික සේවාවන්හි නිරත වීමට සිදුවන බැවින්, දඬුවම් ක්‍රියාවලිය පුනරුත්ථාපන ස්වභාවයකින් යුක්තව පුද්ගල පෞරුෂයට හානි නොවන අයුරින් සිදුකළ යුතු බවද සංගමය අවධාරණය කරයි.

ඒ අනුව බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී සිවුර පැළඳීමට අවස්ථාව ලබාදීමෙන් මහජනතාවගේ යහපත් හැඟීම මෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කීර්තිනාමයද ආරක්ෂා වනු ඇතැයි සංගමය විශ්වාසය පළ කර තිබේ.

අදාළ ඉල්ලීම ඇතුළත් ලිපියේ පිටපත් මහානායක ස්වාමීන් වහන්සේලා, ජනාධිපතිවරයා සහ විෂයභාර අමාත්‍යවරයා වෙතද යොමු කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments