හෝමුස් සමුද්‍රසන්ධිය හරහා ගමන් කරන නෞකාවලින් ගාස්තු අය නොකරන නමුත්, එම මාර්ගයේ නාවික සේවා සැපයීම වෙනුවෙන් අදාළ ගාස්තු අය කරන බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක එස්මයිල් බගේයි ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම, අමෙරිකාව සමඟ ඇතිකරගන්නා ඕනෑම ගිවිසුමක් පිළිබඳ සම්පූර්ණ විශ්වාසයක් තැබිය නොහැකි බවත්, එවැනි එකඟතා කඩාකප්පල් කිරීම සඳහා ඊශ්‍රායලය විවිධ ක්‍රියාමාර්ග ගනු ඇති බවත් ඔහු සඳහන් කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, සටන් විරාමය දින 60කින් දීර්ඝ කිරීම, හෝමුස් සමුද්‍රසන්ධිය යළි විවෘත කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වීම ඇතුළු කරුණු පිළිබඳවද දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබේ.
දින 30ක් ඇතුළත හෝමුස් සමුද්‍රසන්ධිය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ අපේක්ෂාවක් පවතින අතර, ඉරානයට න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමට ඉඩ නොදෙන බවද එම සාකච්ඡාවලදී අවධාරණය වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.
කෙසේවෙතත්, ඉරානයට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීම, අවහිර කර ඇති වත්කම් නිදහස් කිරීම සහ බලගැන්වූ යුරේනියම් සංචිත සම්බන්ධ අවසන් එකඟතාවයකට පැමිණීමට තවදුරටත් කාලයක් ගතවනු ඇති බව වාර්තා වෙයි.
හෝමුස් සමුද්‍රසන්ධිය ගැන ඉරානයෙන් නව ප්‍රකාශයක්

