ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තම ජීවිත කාලය තුළ අවස්ථා තුනකදී යක්ෂයා දුටු බවත්, එක් අවස්ථාවක නිරයේ දොරටු දුටු බවත් සිය පෞද්ගලික දිනපොතේ සටහන් කර ඇති බව නව කෘතියක් හරහා අනාවරණය වී තිබේ.මෙතෙක් ප්‍රසිද්ධ නොවූ උන්වහන්සේගේ පෞද්ගලික හා ආධ්‍යාත්මික අත්දැකීම් ඇතුළත් මෙම කෘතිය නම් කර ඇත්තේ The Private Diary of Pope Francis ලෙසය.1992 සිට 2024 දක්වා කාලය තුළ උන්වහන්සේ ලියා තැබූ සටහන් ඇතුළත් මෙම කෘතිය කාදිනල් වික්ටර් මැනුවෙල් ෆර්නැන්ඩස් විසින් සංස්කරණය කර තිබේ. පිටු 160කින් සමන්විත කෘතිය භාෂා පහකින් රටවල් 94ක ප්‍රකාශයට පත්කර ඇති අතර, ඉංග්‍රීසි සංස්කරණය අමෙරිකාවේ සහ එක්සත් රාජධානියේ පෙන්ගුයින් රැන්ඩම් හවුස් ප්‍රකාශන ආයතනය විසින් නිකුත් කර ඇත.යක්ෂයා දුටු බව සඳහන් සටහන්කෘතියේ සඳහන් පරිදි, බුවනෝස් අයර්ස් අගරදගුරු ධුරය දැරූ සමයේ අවස්ථා තුනකදී යක්ෂයා දුටු බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සටහන් කර තිබේ.වසර 15කට පමණ පෙර මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එහි කවුළුවෙන් යක්ෂයා දුටු බවත්, තවත් අවස්ථාවක කර්මෙලයිට් දේවස්ථානයකදී ගිනි දැල්වෙන දෑසින් යක්ෂයා තමන් දෙස බලා සිටි බවත් උන්වහන්සේ ලියා ඇත.තුන්වැනි අවස්ථාව රෝමයේදී සිදුවූ බවත්, එහිදී යක්ෂයා දුටු අතර ඔහුගේ හඬද ඇසුණු බවත් දිනපොතේ සඳහන් වේ.එමෙන්ම, 2018 ජූනි 7 වැනිදා ලියූ සටහනක ඊට පෙර රාත්‍රියේ තමන් නිරයේ දොරටු දුටු බව උන්වහන්සේ සඳහන් කර තිබේ.2021 ජනවාරි 24 වැනිදා ලියූ සටහනක යක්ෂයා නිර්භීතව හා කපටි ලෙස සැරිසරන බවද සටහන් කර ඇති අතර, එවැනි අත්දැකීම්වලින් මිදීමට දෙවියන් වහන්සේ තමන්ට උපකාර කළ බවද උන්වහන්සේ පවසා ඇත.ආධ්‍යාත්මික අරගල සහ පෞද්ගලික අත්දැකීම්මෙම කෘතියේ යක්ෂයා පිළිබඳ අත්දැකීම්වලට අමතරව, තමන් මුහුණ දුන් බිය, පසුතැවීම්, ස්වයං විවේචන, සෞඛ්‍ය ගැටලු සහ ආධ්‍යාත්මික අරගල පිළිබඳවද ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අවංකව සටහන් කර තිබේ.විශේෂයෙන්ම 2021 සිට 2022 දක්වා කාලය තුළ දැඩි ආධ්‍යාත්මික අර්බුදයකට මුහුණ දුන් බවද දිනපොතේ සඳහන් වේ.එම කාලය තුළ දෙවියන් වහන්සේ කෙරෙහි පැවති විශ්වාසය සහ යාච්ඤාව තුළින් ශක්තිය ලබාගත් ආකාරයද උන්වහන්සේ විස්තර කර ඇත. ජපමාලය තුළින් ආධ්‍යාත්මික ශක්තිය ලබාගැනීම මෙන්ම ශාන්ත තෙරේසා ද ලිසියු, ශාන්ත ජෝසප් සහ මරියතුමිය කෙරෙහි පැවති භක්තිය පිළිබඳ සටහන්ද කෘතියට ඇතුළත්ය.මෙම අත්දැකීම්වල ප්‍රතිඵලයක් ලෙස 2023 වසරේ නිකුත් කළ C’est la confiance සහ 2024 වසරේ නිකුත් කළ Dilexit nos යන ලේඛන බිහි වූ බව කෘතියේ සංස්කාරක කාදිනල් ෆර්නැන්ඩස් පෙන්වා දෙයි.2023 වසරේ පෘතුගාලයේ ෆාතිමා දේවමාතාවන්ගේ සිද්ධස්ථානයට ගිය අවස්ථාවේ නිහඬව යාච්ඤාවේ නිරත වූ ආකාරය පිළිබඳවද උන්වහන්සේ දිනපොතේ සටහන් කර තිබේ.කාදිනල් ෆර්නැන්ඩස් පවසන්නේ මෙම පෞද්ගලික සටහන් ලෝකයට හෙළි කිරීමට ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තමන්ට භාරදුන් බවයි.ඒ අනුව, ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ බිය, ආධ්‍යාත්මික අරගල සහ දෙවියන් වහන්සේ කෙරෙහි වූ විශ්වාසය පිළිබඳ මෙතෙක් ප්‍රසිද්ධ නොවූ තොරතුරු රැසක් මෙම කෘතිය හරහා අනාවරණය වී තිබේ.

