ග්‍රාමීය ජනතාවට රාජ්‍ය සේවාවන් වඩාත් වේගවත් හා පහසු ලෙස ලබාදීමේ අරමුණින් ඉදිරි වසර තුන තුළ මුළු රටම ආවරණය වන පරිදි සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කිරීමට ඩිජිටල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ග්‍රාම නිලධාරී කාර්යාල වෙත ජනතාවගේ පැමිණීම සහ නිලධාරීන්ගේ ගෙයින් ගෙට යාම සීමා කරමින්, රාජ්‍ය සේවාවන් ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ ලබාදීමට අවධානය යොමු කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. එම ක්‍රියාවලියේදී ජනතාව අතර පවතින මානුෂීය සබඳතා ආරක්ෂා කරමින් ඩිජිටල්කරණය සිදුකිරීම වැදගත් බවද ඔහු පැවසීය.
රාජ්‍ය සේවයේ කාර්යයන් කාණ්ඩ තුනකට වෙන් කර ඩිජිටල් පද්ධතියට ඇතුළත් කිරීමට සැලසුම් කර තිබේ. ග්‍රාම නිලධාරී මට්ටමින් අවසන් වන කාර්යයන්, ග්‍රාම නිලධාරී සහතිකය මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවසන් වන කාර්යයන් සහ ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් සහතික මත වෙනත් රාජ්‍ය ආයතන මගින් ඉටුකරන කාර්යයන් ලෙස ඒවා වෙන් කිරීමට නියමිතය.
ලබන වසරේදී දිස්ත්‍රික්ක දෙකක් තෝරාගෙන මෙම වැඩපිළිවෙළ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට අවශ්‍ය මුදල් ඉදිරි අයවැයෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ශක්තිමත් රාජ්‍ය සේවයක් සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය. ඒ යටතේ රාජ්‍ය සේවයට අවශ්‍ය කැබ් රථ 1,750ක් හඳුනාගෙන ඇති අතර, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ට අවශ්‍ය වාහන ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළේය.
ඩිජිටල්කරණයට අවශ්‍ය පරිගණක සහ අනෙකුත් උපකරණ ලබාදීමටත්, රාජ්‍ය ආයතන ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමටත් සැලසුම් කර තිබේ. සෙත්සිරිපාය තුන්වන අදියර අවසන් කර සිව්වන අදියර ආරම්භ කිරීම සඳහාද අයවැයෙන් මුදල් වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය.
රාජ්‍ය සේවයේ වැටුප් තල ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉංජිනේරුවන්, තොරතුරු තාක්ෂණ විශේෂඥයන් සහ නීති නිලධාරීන් වැනි වෘත්තිකයන් බඳවා ගැනීමේ දුෂ්කරතා පවතින බවද ඔහු සඳහන් කළේය. ඒ සමඟම රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නංවමින් එහි ප්‍රමාණය කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව පවතින බවද පැවසීය.
අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් හරහා රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමට සැලසුම් කර ඇති අතර, මුදල් අමාත්‍යාංශය හඳුනාගත් ආයතන 33ක් වසා දැමීමට තීරණය කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ඒ සඳහා වන්දි දීමනාවක් ලබාදීමටද තීරණය කර ඇති බව ඔහු පැවසීය.
රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප් අදියර තුනකින් වැඩි කිරීමට කටයුතු කර ඇති අතර, 2027 වන විට එම වැටුප් වැඩි කිරීම සඳහා පමණක් රුපියල් බිලියන 330ක වැය බරක් දැරීමට සිදුවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ග්‍රාම නිලධාරී කාර්යාල දීමනාව රුපියල් 1,000 සිට 2,000 දක්වාත්, නිල ඇඳුම් දීමනාව රුපියල් 5,000 සිට 15,000 දක්වාත්, ලිපිද්‍රව්‍ය දීමනාව රුපියල් 1,500 සිට 3,000 දක්වාත් වැඩි කර ඇති බවද සඳහන් කළේය. 0
නොවැම්බර් 12 වැනිදා ඉදිරි අයවැය ඉදිරිපත් කිරීමට නියමිත අතර, 2027 වසරේ මූලික වැටුප් වැඩි කිරීම සඳහා අවශ්‍ය රුපියල් බිලියන 330ක වැය බර කළමනාකරණය කිරීම පිළිබඳ එහිදී අවධානය යොමු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සඳහා වැය කරනු ලබන්නේ ජනතාවගේ බදු මුදල් බැවින්, ඉදිරි වසර දෙක තුන තුළ වැට් බදු ප්‍රතිශත අඩු කරමින් ජනතාවට සහන ලබාදීමද රජයේ අරමුණක් බව ඔහු සඳහන් කළේය.
රාජ්‍ය ප්‍රතිපත්ති සහ තීරණ ගම දක්වා ක්‍රියාත්මක කිරීමේ වගකීම රාජ්‍ය යාන්ත්‍රණයට පැවරෙන බැවින් ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍ය බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
නව පත්වීම් ලබන ග්‍රාම නිලධාරීන් අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ජනතාව මුහුණදෙන අසරණකම්, ව්‍යසන, උපත් සහ මරණ වැනි අවස්ථාවලදී ඔවුන් මුලින්ම සම්බන්ධ කරගන්නා රාජ්‍ය නිලධාරීන් අතර ග්‍රාම නිලධාරීවරයා ප්‍රමුඛ වන බවයි. එබැවින් ජනතාව සහ ග්‍රාම නිලධාරීවරයා අතර පැවති සාම්ප්‍රදායික, ආදරණීය හා ගෞරවනීය සබඳතාව යළි ශක්තිමත් කිරීමේ වගකීම නව නිලධාරීන්ට පැවරෙන බවද ජනාධිපතිවරයා පැවසීය.
“`1

