ගාල්ල බන්ධනාගාරයේ පවුර හරහා රැඳවියන් ඉලක්ක කරමින් මත්ද්‍රව්‍ය සහ තහනම් භාණ්ඩ අඩංගු පාර්සලයක් ඇතුළට විසිකිරීමට උත්සාහ කළ බවට සැක කෙරෙන සිද්ධියක් සම්බන්ධයෙන් ගාල්ල මූලස්ථාන පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරක් අනුව, ගාල්ල බන්ධනාගාරයේ පිටුපස දුම්රිය අංගනය ආසන්නයේ සිට පුද්ගලයන් දෙදෙනෙකු පාර්සලයක් බන්ධනාගාරය තුළට විසිකර පලාගොස් ඇති බවට අනාවරණය වී ඇත.
පොලිස් නිලධාරීන් විසින් එම සැකකටයුතු පාර්සලය සොයා පරීක්ෂා කිරීමේදී, “අයිස්” මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2,180ක්, දුම්කොළ සහ ලයිටර් 49ක් එහි තිබී සොයාගෙන තිබේ.
මූලික විමර්ශනවලට අනුව, බන්ධනාගාරයේ රැඳවියන් වෙත මෙම මත්ද්‍රව්‍ය සහ තහනම් භාණ්ඩ ලබාදීමේ අරමුණින් පාර්සලය පවුර හරහා ඇතුළට දැමීමට සැලසුම් කර තිබූ බවට පොලීසිය සැක පළ කරයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

