අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හයදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල පිළිබඳ වැඩිදුර විභාගය හෙට (13) දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කර ඇති මෙම පැමිණිල්ල අද දෙවන දිනටත් අභියාචනාධිකරණයේදී සලකා බැලුණි.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ නඩු විභාගය පැවැත්විණි.
එහිදී විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා කරුණු දක්වමින් කියා සිටියේ, 2024 අංක 8 දරන අධිකරණ ආයතනවලට අපහාස කිරීම පිළිබඳ පනතේ 10(1)(අ) වගන්තිය යටතේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි.
වීඩියෝ දර්ශන වැරදි ලෙස අර්ථකථනය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු ඉදිරිපත් කර ඇති බවත්, තම සේවාදායකයා අදහස් පළ කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා රඳවා තබා ගැනීම සඳහා නිකුත් කළ රැඳවුම් නියෝගය පිළිබඳව පමණක් බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම තම සේවාදායකයා අධිකරණය පිළිබඳ කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවත්, මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය නොමඟ යවා ඇති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.
සුරේෂ් සලේ මහතා අත්අඩංගුවේදී වධහිංසාවලට ලක්වූ බවට ඉදිරිපත් කළ පැමිණිල්ල සහ ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීම පිළිබඳවද ඔහු කරුණු පැහැදිලි කළේය.
තවද, 2024 අංක 8 දරන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයක් ලෙස අර්ථකථනය කර නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, තම සේවාදායකයා අධිකරණයට අපහාසයක් සිදුකර නොමැති බවට තර්ක කළේය.
අනතුරුව ඔහුගේ වැඩිදුර කරුණු දැක්වීම හෙට දිනය දක්වා කල් තැබිණි. එම කරුණු දැක්වීම් අවසන් වූ පසු නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාද කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

