2026 වසරේ ජනවාරි 01 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස්කර ඇති සමස්ත ආදායම රුපියල් බිලියන 2,040ක් බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව එම ආදායම රුපියල් ට්‍රිලියන 2 සීමාව ඉක්මවා ගොස් තිබේ.
2025 වසරේ එම කාලසීමාවේදී රැස්කර තිබූ රුපියල් බිලියන 1,642ක ආදායමට සාපේක්ෂව මෙවර රුපියල් බිලියන 398ක වැඩිවීමක් වාර්තා වේ.
2026 වසර සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ආදායම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 2,401ක් වන අතර, සැප්තැම්බර් 30 වනවිට එහි සියයට 85ක් සපුරා තිබේ.
මේ අතර සැප්තැම්බර් මාසය තුළ පමණක් රුපියල් බිලියන 288ක ආදායමක් රැස්කර ඇති අතර, එය 2025 වසරේ සැප්තැම්බර් මාසයේ රුපියල් බිලියන 216ක ආදායමට වඩා රුපියල් බිලියන 72ක වැඩිවීමකි.
බදු ගෙවන්නන්ගේ ස්වේච්ඡා බදු ගෙවීම සඳහා වූ පෙළඹවීම සහ බදු පරිපාලනයේ කාර්යක්ෂමතාව මෙම ආදායම් වර්ධනයට දායක වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

