හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ඔක්තෝබර් 13 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස පොලීසිය දැනුම් දී තිබේ.
විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඇය මෙලෙස කැඳවා ඇති බව සඳහන් වේ.
විදෙස්ගතව සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (05) රාත්‍රියේ මලයාසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබුණි.
පසුගිය සැප්තැම්බර් 16 වැනිදා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් සිටි ඇයට, සිරිලිය සවිය සංවිධානයට අදාළ මූල්‍ය ගනුදෙනු සම්බන්ධ විමර්ශනයකට ප්‍රකාශයක් ලබාදෙන ලෙස මීට පෙර දැනුම් දී තිබුණි.
මේ අතර, තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (05) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක්ද ඉදිරිපත් කර තිබේ.

