ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නීති විරෝධී ලෙස බස් රථ සඳහා මාර්ග ධාවන බලපත්‍ර නිකුත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කළේය.
1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන සහ 2014 සැප්තැම්බර් 19 වැනිදා අමාත්‍ය මණ්ඩල තීරණයේ නිර්දේශවලට පටහැනිව දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා මගී සේවා අවසරපත් 56ක් නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව නිකුත් කිරීම ඔහුට එරෙහි චෝදනාව බව අල්ලස් කොමිසම පවසයි.
එමෙන්ම අදාළ අවසරපත් සඳහා වාර්ෂික ගාස්තු එකවර අයකර නොගෙන බලපත්‍ර නිකුත් කර ඇති බවටද චෝදනා එල්ල වී තිබේ.
ඒ අනුව සැකකරු අද (17) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

