ශ්‍රී ලංකා මුහුදු තීරයේ ඩෙල්ෆ් දූපත ආසන්නයේ අනතුරට පත් වූ ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි ඉන්දීය ධීවරයින් 11 දෙනාම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව බේරාගෙන තිබේ.
ඊයේ (05) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් පසු නාවික හමුදාව වහාම ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, දීර්ඝ මෙහෙයුමකින් අනතුරුව අද (06) සියලු ධීවරයින් ආරක්ෂිතව බේරාගෙන ඩෙල්ෆ් දූපත වෙත රැගෙනවිත් ඇත.
ඔවුන් සියලුදෙනා ආරක්ෂිතව ගොඩබිමට රැගෙනවිත් අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකරමින් පවතින බව නාවික හමුදාව සඳහන් කළේය.
මේ අතර, මුහුදේ රළ පහර හේතුවෙන් වෙරළට ගසාගෙන ආ ඉන්දීය ධීවර යාත්‍රාව මයිලිඩ්ඩි ධීවර වරාය වෙත රැගෙන යාමටද නාවික හමුදාව කටයුතු කරමින් සිටී.
බේරාගත් ධීවරයින් සම්බන්ධ වැඩිදුර කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව සිදුකරයි.

