ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් මතුව ඇති බව ලංකා ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
ඉන්ධන මිලදී ගන්නා මිලට වඩා අඩු මිලකට ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් බෙදාහැරීම් සීමා කිරීමට සිදුවන බව ලංකා IOC, සයිනොපෙක් සහ R.M. පාර්ක් සමාගම් පසුගියදා පිරවුම්හල් හිමියන්ට දැනුම් දී තිබුණි.
මේ සම්බන්ධයෙන් ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සැප්තැම්බර් 17 වැනිදා රැස්වී ඇති අතර, ඉන්ධන මිල ගැටලුවට විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවට එහිදී අනතුරු අඟවා තිබේ.
එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් පසුගියදා සිදුකළ ඉන්ධන මිල සංශෝධනයේදී මිල ඉහළ නැංවීමත් සමඟ ඩීසල් ලීටරයක් සඳහා රජයේ සහනාධාරයක්ද ප්‍රකාශයට පත්කර තිබුණි.
කෙසේවෙතත්, ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසන්නේ ඉන්ධන සමාගම් ප්‍රමාණවත් පරිදි ඉන්ධන ඇණවුම් නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි.
එම සංගමයේ සභාපති ඩී.වී. ශාන්ත සිල්වා මහතා සඳහන් කළේ ඇතැම් සමාගම්වලට පෙට්‍රල් සහ ඩීසල් අලෙවියෙන් පාඩු සිදුවීම හේතුවෙන් ඉන්ධන ඇණවුම් සහ බෙදාහැරීම් සීමා වී ඇති බවයි.
IOC, සයිනොපෙක් සහ R.M. පාර්ක් සමාගම්වල පිරවුම්හල්වල මේ වනවිට ඉන්ධන නොමැති තත්ත්වයක් දක්නට ලැබෙන බවත්, ඇණවුම් කළ ඉන්ධන නියමිත වේලාවට ලැබෙන්නේ නම් එවැනි හිඟයක් ඇති නොවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

