දිවයිනේ පළාත් කිහිපයකට අද (05) පස්වරුවේ තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවද දැනුම් දී තිබේ.
මීට අමතරව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර, අගෝස්තු 28 සිට සැප්තැම්බර් 7 දක්වා කාලය තුළ සූර්යයා දෘශ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී.
ඒ අනුව අද දහවල් 12.08ට මොරටුව, කැස්බෑව, හඳපාන්ගොඩ, ඉදල්ගස්හින්න, යුදගනාව, කොටියාගල සහ පානම යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

