Homeසියලුම පුවත්ශ්‍රී ලංකාවට ත්‍රස්ත පනත සම්බන්ධයෙන් UN මානව හිමිකම් කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවට ත්‍රස්ත පනත සම්බන්ධයෙන් UN මානව හිමිකම් කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක්

එළඹෙන සැප්තැම්බර් 7 වනදා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ වාර්තාව මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබේ.

එම වාර්තාව මගින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා පෙන්වා දෙන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුකෙරෙන අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ චෝදනා ගොනු නොකර දීර්ඝ කාලයක් රඳවා තබාගැනීම් හේතුවෙන් එම පනත සඳහා අත්හිටුවීමේ කාලසීමාවක් පනවා, එය කඩිනමින් අහෝසි කර නව නීතියක් හඳුන්වාදිය යුතු බවයි.

වත්මන් රජය බලයට පත්වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ වගවීම ඇතුළු විශාල වෙනස්කම් සිදුකරන බවට වූ පොරොන්දුව මත බවද වාර්තාවේ සිහිපත් කර තිබේ.

කෙසේවෙතත්, රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවදුරටත් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ චෝදනා නොගොනු කර දීර්ඝ කාලයක් රඳවා තබාගැනීම් සිදුව ඇති බව මහකොමසාරිස්වරයා සඳහන් කර ඇත.

2025 වසර තුළ අත්අඩංගුවේ හෝ රඳවා තබාගැනීමේදී සිදුවූ මරණ 18ක් සහ 2026 අප්‍රේල් මාසය වනවිට එවැනි සිද්ධීන් 3ක් වාර්තා වී ඇති බවද වාර්තාවේ දැක්වේ.

එමෙන්ම 2025 වසරේදී වධහිංසා පැමිණවීම සහ අමානුෂික ලෙස සැලකීම සම්බන්ධ සිද්ධීන් 602ක්ද, 2026 අප්‍රේල් මාසය වනවිට එවැනි සිද්ධීන් 138ක්ද වාර්තා වී ඇති බව එහි සඳහන්ය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ඇතුළු නඩු කිහිපයක ප්‍රගතියක් දක්නට ලැබුණද, යුද සමයේ සිදුවූ බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මෙතෙක් ස්ථිර වගවීමක් සිදුව නොමැති බවද මහකොමසාරිස්වරයා අවධාරණය කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඇතුළු හමුදා හා සිවිල් බුද්ධි අංශ නිලධාරීන් විසින් සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන්ට එරෙහිව රාජ්‍ය මට්ටමේ ඔත්තු බැලීම්, බිය ගැන්වීම් සහ පළිගැනීම් සිදුකරන බවටද වාර්තාව මගින් සඳහන් කර ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා අත්හිටුවීමේ කාලසීමාවක් පනවා එය කඩිනමින් අහෝසි කර නව නීතියක් හඳුන්වාදීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන නිර්දේශයක් වේ.

මීට අමතරව උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල හමුදා භාරයේ පවතින ඉඩම් නිදහස් කිරීම, තවදුරටත් ඉඩම් පවරා ගැනීම් නතර කිරීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලයක් රඳවාගෙන සිටින සිරකරුවන් නිදහස් කිරීමද නිර්දේශ කර තිබේ.

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමාකරන මාර්ගගත සුරක්ෂිතතා පනත, ICCPR පනත සහ කෙටුම්පත් කර ඇති NGO පනත සංශෝධනය කිරීම හෝ අහෝසි කිරීමද එම නිර්දේශ අතරට ඇතුළත්ය.

එමෙන්ම බන්ධනාගාරවල පවතින අධික තදබදය සහ ප්‍රචණ්ඩත්වය අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ සිදුකිරීමත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් සිරගත කිරීම වෙනුවට සෞඛ්‍යමය පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කිරීමත් මහකොමසාරිස්වරයා නිර්දේශ කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments