මෙම මාසය අවසන් වනතුරු වත්මන් ඉන්ධන මිල ගණන් යටතේම ඉන්ධන අලෙවි කිරීමට හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.
අද (06) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ඉදිරි මාස තුන තුළ විශාල ගැටලුවක් ඇති නොවන්නේ නම් වත්මන් ඉන්ධන මිල සහ සැපයුම් තත්ත්වය පවත්වාගෙන යා හැකි බවයි.
වෙනත් ඉන්ධන සමාගම් ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවද ඔහු පැවසීය.
එවැනි තත්ත්වයක් ඇතිවිය හැකි ප්‍රදේශ 62ක් පමණ සති තුනකට පෙර හඳුනාගෙන ඇති අතර, එම ප්‍රදේශවලට වැඩි ඉන්ධන ප්‍රමාණයක් නිකුත් කිරීමට අදාළ සමාගම් සමඟ එකඟතාවකට පැමිණ ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව රට තුළ විශාල ඉන්ධන ගැටලුවක් ඇතිවීමට හේතුවක් නොමැති බවත්, ඉන්ධන හිඟයක් පිළිබඳව අනවශ්‍ය ලෙස කලබල වී පිරවුම්හල්වල පෝලිම්වල රැඳී නොසිටින ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
වෙනත් සමාගම්වල පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් හෝ දිගු පෝලිම් පවතින්නේ නම්, ආසන්නතම ඛනිජ තෙල් සංස්ථා පිරවුම්හල වෙත යන ලෙසද ඔහු ජනතාවට දැනුම් දුන්නේය.
මේ අතර, ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන සංචිත සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත්, සෑම සතියකම අඟහරුවාදා ඉන්ධන තොග පිළිබඳ සමාලෝචනයක් සිදුකරන බවත් සභාපතිවරයා පැවසීය.
එම සමාලෝචනයේදී තවත් ඉන්ධන නෞකා දෙකක් කඩිනමින් ගෙන්වීමට කටයුතු කර ඇති අතර, මෙම මාසයට අවශ්‍ය ප්‍රමාණයට අමතරව වැඩි ඉන්ධන ප්‍රමාණයක් ගෙන්වීමටද පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

