එල් නිනෝ තත්ත්වය ප්‍රබල වීමත් සමඟ ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල දිවයින පුරා වැසි තත්ත්වයේ වර්ධනයක් ඇතිවිය හැකි බැවින් ඇතැම් අවස්ථාවල ගංවතුර තත්ත්වයන්ට සූදානම් වීමට සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ පැසිෆික් සාගරය ආශ්‍රිත එල් නිනෝ තත්ත්වය ප්‍රබල වීම සහ ඉදිරියේදී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සක්‍රීය වීම ඊට හේතු විය හැකි බවය.
දැනට පවතින කාලගුණික දත්ත අනුව ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසිබර කාලගුණයක් අපේක්ෂා කරන අතර, වියළි කාලගුණයක් පැවති ප්‍රදේශවල මෙම මාසයේ 28 සහ 29 වැනිදා සිට ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවද ඔහු පැවසීය.
අද (25) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකිය.
පස්වරු 2.00න් පමණ පසු ඌව පළාතේ මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-55 දක්වා ඉහළ යා හැකි බැවින් මුහුද තරමක් රළු විය හැකිය.
හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වාත්, පොතුවිල් දක්වාත් මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2-3ක් පමණ දක්වා ඉහළ යා හැකි අතර, බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළාසන්න ප්‍රදේශවලට මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක් පවතින බවද සඳහන් වේ.
ඒ හේතුවෙන් ධීවරයින්, නාවිකයින් සහ වෙරළබඩ ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටී.
එමෙන්ම එල් නිනෝ තත්ත්වය තවදුරටත් ප්‍රබල වීමත් සමඟ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවත්, බෙංගාල බොක්ක සක්‍රීය වීමත් සමඟ ඇති විය හැකි ගංවතුර තත්ත්වයන්ට සූදානම් වීම අවශ්‍ය විය හැකි බවත් ඔහු සඳහන් කළේය.

