හෝමාගම කටුවාන කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක අද (21) උදෑසන ඇති වූ ගින්නෙන් මියගිය පුද්ගලයින් අධික ලෙස පිළිස්සී සිටි බව පොලීසිය පවසයි.
කෝට්ටේ ගිනිනිවන ඒකකයේ ප්‍රධාන අණදෙන නිලධාරියා සඳහන් කළේ, ගින්න අද පෙරවරු 9.45ට පමණ ආරම්භ වී තට්ටු තුනක ගොඩනැගිල්ල පුරා වේගයෙන් පැතිර ගිය බවයි.
මුලදී පුද්ගලයින් තිදෙනෙකු ගින්නට හසුව ඇති බවට තොරතුරු ලැබී තිබුණද, පසුව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ගින්නෙන් පිළිස්සී මියගිය පුද්ගලයින් පස්දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.
ඉන් තිදෙනෙකුගේ සිරුරු හඳුනාගත නොහැකි තරම් පිළිස්සී තිබූ බවද ගිනිනිවන නිලධාරීන් සඳහන් කළේය.
ගින්න දැඩි ලෙස ව්‍යාප්තව තිබීම හේතුවෙන් සිරවී සිටි පිරිස වෙත ළඟාවීමට ගිනිනිවන භටයින්ට දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව තිබුණි.
ගිනිනිවන රථ හයක් යොදවා ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර, තුවාල ලැබූ කාන්තාවක් රෝහල්ගත කර තිබේ.
ගින්න ඇතිවීමට හේතුව සම්බන්ධයෙන් මේ වන විට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

