2026 ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ සංවිධාන කටයුතු සහ එහි වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (24) ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
පෙරහර මංගල්‍යය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීම සඳහා රජයේ මැදිහත්වීම, අවශ්‍ය පහසුකම් සැලසීම සහ සංවිධාන කටයුතුවල ප්‍රගතිය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
පෙරහරට සහාය දක්වන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල දායකත්වය මෙන්ම බැතිමතුන් සඳහා ජලය, විදුලිය, සනීපාරක්ෂක සහ ප්‍රවාහන පහසුකම් සැපයීම පිළිබඳවද විශේෂ අවධානය යොමු විය. එසේම පෙරහර සඳහා අලි ඇතුන් සපයා ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා සිදුකර තිබේ.
මෙවර කුඹල් පෙරහර අගෝස්තු 18 සිට 22 දක්වා පැවැත්වෙන අතර, රන්දෝලි පෙරහර අගෝස්තු 23 වැනිදා ආරම්භ වේ. අවසන් මහා රන්දෝලි පෙරහර අගෝස්තු 27 වැනිදා වීථි සංචාරය කරන අතර, අගෝස්තු 28 වැනිදා දිය කැපීමේ චාරිත්‍රයෙන් අනතුරුව මෙවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වීමට නියමිතය.
කන්ද උඩරට ඇසළ පෙරහරේ සංවිධාන කටයුතු ගැන විශේෂ සාකච්ඡාවක්

