අද (1) යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මෙරට දේශපාලන පක්ෂ ගණනාවක් මැයි රැලි සංවිධානය කර ඇති අතර, ඒ අතරින් කොළඹ කේන්ද්‍ර කරගනිමින් රැලි කිහිපයක් පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව, ආණ්ඩුව නියෝජනය කරන ජාතික ජන බලවේගය දිස්ත්‍රික්ක 21ක මැයි රැලි 21ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. එම රැලි කිහිපයකට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද එක්වීමට නියමිතය.
මේ අතර, සමගි ජන බලවේගය මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී සිය මැයි රැලිය පැවැත්වීමට නියමිත අතර, සර්වජන බලය කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී රැලිය සංවිධානය කර තිබේ.
එමෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොරැල්ල කැම්බල් පිටියේදී රැලිය පවත්වන අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොළඹ හයිඩ් පිටියේදී සිය මැයි රැලිය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
අද දිනයේ පැවැත්වෙන මෙම රැලි සහ පෙළපාලි හේතුවෙන් කොළඹ සහ අනෙකුත් නගරවල විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය සැලසුම් කර තිබේ
කම්කරු දිනයට සමගාමීව රටපුරා මැයි රැලි රැසක්

