ගීතවල කර්තෘභාග අයකිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව ඉදිරිපත් කළ අදහස් සැලකිල්ලට ගනිමින්, ගීත නිර්මාණවලට අදාළ සියලුම බලපත්‍රකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) තීරණය කර තිබේ.නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කර ඇත්තේ, සියලු පාර්ශ්වවල අභිලාෂ සැලකිල්ලට ගන්නා නීතිමය රාමුවක් සකස් කිරීමට තමන් කැපවී සිටින බවයි.එමෙන්ම, මාධ්‍ය හමුවලදී සිදුකළ ඇතැම් ප්‍රකාශ හේතුවෙන් කිසියම් පාර්ශ්වයකට සිත් රිදීමක් හෝ අපහසුතාවක් ඇති වූයේ නම් ඒ පිළිබඳව කනගාටුව පළ කරන බවද සංගමය සඳහන් කරයි.ගීතවල අයිතිය සහ කර්තෘභාග ගෙවීමේ ක්‍රමවේදය පිළිබඳව සංගමය ඉදිරිපත් කළ අදහස් හේතුවෙන් මෑතකදී කලා ක්ෂේත්රය තුළ විවාදයක් මතුවූ අතර, ගායන ශිල්පීන් සහ ගීත නිර්මාණකරුවන් අතරද මතභේදාත්මක තත්ත්වයක් ඇති විය.මෙම තත්ත්වය හමුවේ නිකුත් කළ නව නිවේදනයෙන් ACPOSL සංගමය පවසන්නේ, විවිධ පාර්ශ්ව ඉදිරිපත් කළ අදහස් සාවධානව සලකා බැලූ බවයි.ඒ අනුව, 2026 නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත වාර්ෂික මහා සභා රැස්වීම දක්වා සියලුම බලපත්‍රකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සංගමයේ අධ්යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. මෙම තීරණය සංගමයේ නෛතික ස්ථාවරයට අගතියක් නොවන පරිදි ක්‍රියාත්මක කරන බවද නිවේදනයේ සඳහන් වේ.තවද, යෝජිත බලපත්‍ර රාමුව සහ ඊට අදාළ ගාස්තු සමාලෝචනය කර සංශෝධනය කිරීම සඳහා ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන් සමඟ විධිමත් සාකච්ඡා මාලාවක් ආරම්භ කිරීමටද සංගමය තීරණය කර ඇත.පූර්ණ විනිවිදභාවයකින් යුතුව සියලු පාර්ශ්වවල අදහස් සහ අභිලාෂ සැලකිල්ලට ගන්නා නීතිමය රාමුවක් සකස් කිරීම තම අරමුණ බව ACPOSL සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

