දඹුල්ල සහ උඩුගම ප්රදේශවල සිදුවූ වෙන වෙනම යතුරුපැදි අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
දඹුල්ල, වැලිහේන බුලාගල අතුරු මාර්ගයේදී බුලාගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් බෝක්කුවක ගැටී තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ 18 හැවිරිදි යතුරුපැදිකරු දඹුල්ල රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය පරීක්ෂණ සිදුකරයි.
මේ අතර, ගාල්ල–උඩුගම මාර්ගයේ ගල්ගොඩදෙණිය හන්දිය ආසන්නයේදී තවත් යතුරුපැදි අනතුරක් සිදුව තිබේ.
ගාල්ල දෙසට ගමන් කළ යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් බස් නැවතුම්පළක ගැටී ඇත.
අනතුරින් යතුරුපැදිකරු සහ පසුපැදිකරු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී 27 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔහු උඩුගම ප්රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

