දිවයිනේ ප්‍රදේශ රැසක වායුගෝලීය ගුණාත්මකභාවය පහළ ගොස් ඇති අතර, ඇතැම් ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය අහිතකර මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.එහි පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අධ්යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළේ උතුර, උතුරු මැද, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල වායු තත්ත්ව දර්ශකය 200ට වඩා ඉහළ ගොස් ඇති බවයි.බෙංගාල බොක්ක ආශ්‍රිතව පසුගිය දින කිහිපයේ පැවැති කැලඹිලි සහගත කාලගුණික තත්ත්වය හේතුවෙන් දේශසීමා හරහා සිදුවන වායු සංසරණය ඔස්සේ වායු දූෂක අංශු මෙරටට ඇතුළුවීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන තිබේ.මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල එළිමහනේ මීදුමට සමාන ස්වභාවයක් දැකගත හැකි අතර, එය වායුගෝලයේ පවතින දූවිලි සහ අනෙකුත් දූෂක අංශු නිසා ඇතිවන තත්ත්වයක් බවද ඔහු පෙන්වා දෙයි.දැනට පවතින දත්ත අනුව මෙම තත්ත්වය තවත් දින තුනක් හෝ හතරක් පමණ පැවතිය හැකි නමුත්, කාලගුණික කැලඹිලි සහ වායු සංසරණ රටාවන් අනුව එය නිශ්චිතව පුරෝකථනය කිරීම අපහසු බව සඳහන් වේ.විශේෂයෙන් වයස්ගත පුද්ගලයන්, ශ්වසන රෝගවලින් පෙළෙන අය සහ දූවිලි අංශු සඳහා අසාත්මිකතා ඇති පුද්ගලයන් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය.එවැනි පුද්ගලයන්ට අසාත්මිකතා හෝ ශ්වසන අපහසුතා ඇති වුවහොත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.උදෑසන කාලයේදී මෙම තත්ත්වය වඩාත් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි අතර, ඉදිරි දින කිහිපය තුළ එය පහව යනු ඇතැයි අපේක්ෂා කරන බවද ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

