ගෝලීය උණුසුම ඉහළ යාමත් සමඟ ඇතිවෙමින් පවතින දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ අනාගතයේදී විවිධ ස්වභාවික ආපදා තත්ත්වයන් වැඩි වශයෙන් ඇතිවීමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පෙන්වා දෙයි.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) හමුවේ කරුණු දක්වමින් එහි අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා සඳහන් කළේ, වර්තමාන සේවක හිඟය හේතුවෙන් විශාල පරිමාණයේ ආපදා තත්ත්වයන්ට ප්‍රමාණවත් ලෙස ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සීමා වී ඇති බවයි.
මෑතකදී බලපෑ “දිට්වා” සුළි කුණාටුව වැනි ආපදාවලදී ද ආයතනයට පවතින මානව සම්පත් ප්‍රමාණය ප්‍රමාණවත් නොවූ බව ඔහු පෙන්වා දුන්නේය. එසේම පැය 24 පුරා ක්‍රියාත්මක වන හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානයේ රාත්‍රී රාජකාරි කරන නිලධාරීන්ට අවශ්‍ය මූලික නවාතැන් පහසුකම් පවා නොමැති බවද ඔහු අනාවරණය කළේය.
දිස්ත්‍රික් මට්ටමේ ආපදා කළමනාකරණ ඒකක සවස 4.30න් පසු වසා දැමීම හේතුවෙන්, රාත්‍රී කාලයේ ආපදාවක් වාර්තා වුවහොත් අදාළ නිලධාරීන් කැඳවා ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට සැලකිය යුතු කාලයක් වැය වන බවද අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
සේවක හිඟයට විසඳුමක් ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය ඒකාබද්ධ කිරීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවත්, එම ක්‍රියාවලිය සම්පූර්ණ වීමට කාලයක් ගතවන බැවින් ඒ අතරතුර විශාල ආපදාවක් ඇතිවුවහොත් කටයුතු කිරීම අභියෝගයක් වනු ඇති බවත් ඔහු අවධාරණය කළේය.
ලෝකයේ බොහෝ රටවල් නව තාක්ෂණය සහ නවීන සම්පත් භාවිත කරමින් ආපදා කළමනාකරණය ශක්තිමත් කරමින් සිටියද, ශ්‍රී ලංකාවේ එම ක්‍රියාවලිය තවමත් ප්රමාදගාමී බවද ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම අන්දමන් දූපත් ආශ්‍රිතව සුනාමියක් ඇති වුවහොත් විනාඩි 40ක් වැනි කෙටි කාලයක් තුළ රළ පහර ශ්‍රී ලංකාවට ළඟා විය හැකි බවත්, එවැනි අවස්ථාවක වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන මිලියන 3.8කට ආසන්න ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීම අතිශය දුෂ්කර මෙහෙයුමක් වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
දැනට ස්ථාපිත කර ඇති සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු කිහිපයක් ක්‍රියා විරහිතව පවතින අතර, ඒවා යළි ක්‍රියාකාරී තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

