මහරගම ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ ඩෙංගු මර්දන මෙහෙයුම්වලදී ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩ සැලසෙන ලෙස පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන් පිරිසකට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් සමස්තයක් ලෙස රුපියල් ලක්ෂ 21ක දඩ මුදලක් නියම කර තිබේ.
මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලීන් කල්දේරා මහතා සඳහන් කළේ, එක් දිනක් තුළ ඩෙංගු සම්බන්ධයෙන් අධිකරණය නියම කළ වැඩිම දඩ මුදල ලෙස මෙය වාර්තා වන බවයි.
පසුගිය දින කිහිපය තුළ මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ සිදු කළ විශේෂ පරීක්ෂණවලදී මදුරු බෝවන ස්ථාන සහිත පරිශ්‍ර හඳුනාගැනීමෙන් අනතුරුව අදාළ නිවාස හිමියන්ට සහ වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන අධිකරණය හමුවේ නඩු පවරා ඇති බවද ඔහු පැවසීය.
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ඉදිරියටත් වැටලීම් සහ පරිශ්‍ර පරීක්ෂා කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සඳහන් කළ නලීන් කල්දේරා මහතා, ජනතාව සිය නිවාස හා අවට පරිසරය නිරන්තරයෙන් පිරිසිදුව තබාගෙන මදුරු බෝවන ස්ථාන ඉවත් කිරීමට වගබලා ගන්නා ලෙස ඉල්ලීමක් ද කළේය.

