ශ්‍රී ලංකාවේ ධීවර නිරීක්ෂණ කටයුතු නවීන තාක්ෂණය මගින් ශක්තිමත් කිරීම සඳහා නෝර්වේ රජය සමඟ වැදගත් එකඟතාවයක් ඇති කරගෙන තිබේ.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා ප්රමුඛ දූත පිරිස ඔස්ලෝ නගරයේදී නෝර්වේ වෙළෙඳ, කර්මාන්ත හා ධීවර අමාත්‍යාංශ නිලධාරීන් සමඟ මෙම සාකච්ඡා පැවැත්වීය.
එහිදී “Blue Justice” වැඩසටහන යටතේ ලැබෙන AIS (Automatic Identification System) චන්ද්‍රිකා දත්ත පද්ධතිය ශ්‍රී ලංකාවට නොමිලේ ලබාගැනීම පිළිබඳව අවධානය යොමු වී තිබේ. මෙම තාක්ෂණය භාවිතා කරමින් ධීවර යාත්‍රා නිරීක්ෂණය කිරීමට සහ නීතිවිරෝධී ධීවර කටයුතු වැළැක්වීමට හැකිවනු ඇත.
තවද, මෙම පද්ධතිය කාර්යක්ෂමව භාවිතා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිලධාරීන්ට විශේෂ පුහුණු වැඩසටහන් ලබාදීමටද නෝර්වේ පාර්ශවය එකඟතාව පළ කර ඇත.
ඊට අමතරව, ලෝක මට්ටමේ ආහාර පෝෂණය හා සංයුතිය සම්බන්ධ ජාලයකට එක්වීමට ශ්‍රී ලංකාවට ආරාධනා කර ඇති අතර, එමගින් පර්යේෂණ ආයතන සඳහා ජාත්‍යන්තර තාක්ෂණික දැනුම ලබාගැනීමට අවස්ථාව සැලසේ.
මෙම සහයෝගීතාවය හරහා ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්රය නවීන තාක්ෂණයට අනුකූලව සංවර්ධනය කිරීමට රජය කැපවී සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ධීවර නිරීක්ෂණයට නෝර්වේයෙන් AIS චන්ද්‍රිකා තාක්ෂණ සහය

