තහනම් පොලිතීන් භාවිතයෙන් නිෂ්පාදනය කළ සහ නියමිත නීතිමය අවශ්‍යතාවලට අනුකූල නොවන ආහාර එතුම් හෙවත් ලන්ච් ෂීට් කිලෝග්‍රෑම් 2,040ක පමණ තොගයක් පුත්තලම ප්‍රදේශයේ පිහිටි භාණ්ඩ විනාශ කිරීමේ අංගනයකදී පසුගියදා විනාශ කර තිබේ.
වෙළෙඳපොළෙන් මෙම නිෂ්පාදන ඉවත් කිරීමේ අරමුණින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව සිදුකළ විශේෂ වැටලීම් දෙකකදී අදාළ ලන්ච් ෂීට් තොගය භාරයට ගෙන තිබුණි.
2017 සැප්තැම්බර් 01 දිනැති අංක 2034/34 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව HDPE, LDPE සහ Polypropylene ඇතුළු පොලිතීන් අමුද්‍රව්‍ය ලෙස යොදා ආහාර දවටන නිෂ්පාදනය කිරීම, විකිණීම, ප්‍රදර්ශනය කිරීම සහ භාවිතය දේශීය භාවිතය සඳහා සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
එමෙන්ම 2019 නොවැම්බර් 29 දිනැති අංක 2151/58 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ විධාන අංක 70 යටතේ ආහාර එතුම් නිෂ්පාදකයින් සහ වෙළෙඳුන් සඳහා විශේෂ ලේබල් කිරීමේ අවශ්‍යතාද නියම කර තිබේ.
ඒ අනුව සෑම පැකට්ටුවකම හෝ බණ්ඩලයකම භාෂා තුනෙන් සකස් කළ ලේබලයක් මඟින් සන්නාම නාමය, උපරිම සිල්ලර මිල, නිෂ්පාදකයාගේ විස්තර, භාවිත කළ ද්‍රව්‍ය, ජෛව හායනයට ලක්වන හෝ කොම්පෝස්ට් කළ හැකි බවට ප්‍රකාශය, මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි අංකය සහ ප්‍රමාණය ඇතුළු තොරතුරු සඳහන් කළ යුතුය.
තහනම් පොලිතීන් අමුද්‍රව්‍ය භාවිතයෙන් ලන්ච් ෂීට් නිෂ්පාදනය කිරීමෙන් වළකින ලෙසත්, වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර සියලු පරිසර හා ලේබල් කිරීමේ නීතිමය අවශ්‍යතා සපුරා ඇති බව තහවුරු කරගන්නා ලෙසත් අදාළ බලධාරීන් දැනුම් දෙයි.
එමෙන්ම ලන්ච් ෂීට් මිලදී ගැනීමේදී නිෂ්පාදක තොරතුරු, උපරිම සිල්ලර මිල, නිෂ්පාදිත දිනය සහ මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි අංකය ඇතුළු ලේබල් තොරතුරු පරීක්ෂා කරන ලෙසද පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.
නීතිවිරෝධී නිෂ්පාදන අලෙවියෙන් වළකින ලෙසත්, මිලදී ගැනීම් සඳහා වන බිල්පත් හා ඉන්වොයිසි නිසි පරිදි ළඟ තබාගන්නා ලෙසත් අදාළ අංශ වෙත දැනුම් දී තිබේ.
වෙළෙඳපොළ තුළ සිදුවන මෙවැනි නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටී.

