පේරාදෙණිය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්රගාමී දුම්රියක් අද (05) අලුයම ගංගොඩ සහ කඩිගමුව දුම්රිය ස්ථාන අතරදී පීලි පැන තිබේ.
අලුයම 4.40ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරළී තිබීම හේතුවෙන් දුම්රිය පීලි පැන ඇති බව සඳහන් වේ.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ සියලුම දුම්රිය ප්රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත්ව තිබූ උඩරට දුම්රිය මාර්ගය ප්රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව පේරාදෙණිය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ පළමු කාර්යාල දුම්රියද මෙය වේ.
පීලි පැනීම හේතුවෙන් දුම්රියේ ඉදිරිපස කොටසට හානි සිදුව තිබේ.
දුම්රිය රියදුරු ඩී.ඒ.පී. සෙන්දනායක මහතා සඳහන් කළේ, දුම්රිය ධාවනය කරමින් සිටියදී මාර්ගය හරහා පස් කණ්ඩියක් වැටී තිබෙනු දැක ගැනීමට ලැබුණේ ඉතා ආසන්නයේදී බවත්, එහි ගැටීමෙන් අනතුරුව දුම්රිය විසිවී ගලකද ගැටීමෙන් හානි සිදුවූ බවත්ය.

