විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇති බවට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ඔහු කථානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.කාවන්තිස්ස හස්තියා මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා තමන් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පසුගිය 23 වැනිදා යෝජනාවක් ඉදිරිපත් කළ බව සජිත් ප්‍රේමදාස මහතා එම ලිපියේ සඳහන් කර ඇත.එම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අවස්ථා තුනකදී රැස්වී තිබුණද, අදාළ යෝජනාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවද ඔහු පෙන්වා දී තිබේ.එසේ තිබියදී පසුව ඉදිරිපත් කළ වෙනත් යෝජනාවලට ප්‍රමුඛතාව ලබාදී ඇති බවත්, කාවන්තිස්ස හස්තියා ඇතුළු වනජීවී සම්පත සම්බන්ධයෙන් පවතින ජාතික වැදගත්කම සහ හදිසි අවශ්‍යතාව පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැති බවත් විපක්ෂ නායකවරයා සිය ලිපියෙන් සඳහන් කර ඇත.මෙම තත්ත්වය හේතුවෙන් විපක්ෂ නායකවරයා ලෙස තමන්ට පැවරී ඇති ව්‍යවස්ථානුකූල හා පාර්ලිමේන්තුමය වගකීම් ඉටු කිරීමටත්, පාර්ලිමේන්තු කටයුතුවලට ඵලදායී ලෙස සහභාගී වීමටත් ඇති අයිතියට බාධා සිදුව ඇති බව සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර තිබේ.මෙම ක්‍රියාකලාපය පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් මෙන්ම පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කිරීමක් ලෙස සලකා බැලිය හැකි බවද ඔහු සිය ලිපියේ පෙන්වා දී ඇත.ඒ අනුව අදාළ පැමිණිල්ල ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කර, අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ.

