ශාසනාරක්ෂක සංඝ සභාව විසින් සංවිධානය කරන මහා සඟ සමුළුව අද (27) කොළඹදී ආරම්භ වීමට නියමිතව තිබේ.
‘සුඛා සංඝස්ස සාමග්ගී’ යන තේමාව යටතේ සම්බුද්ධ ශාසනයට එල්ල වී ඇති අනර්ථකාරී තත්ත්වයට එරෙහිව මෙම සඟ සමුළුව පැවැත්වෙන බව සඳහන්ය.
ශාසනාරක්ෂක සංඝ සභාවේ සම්බන්ධීකාරක පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසුවේ, අද පස්වරු 2.00ට කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී මෙම සමුළුව පැවැත්වෙන බවයි.
දිවයින පුරා ප්‍රදේශ නියෝජනය කරමින් මහා සංඝරත්නය විශාල පිරිසක් සහභාගි වීමට නියමිත අතර, වත්මන් සාසනික අර්බුද සම්බන්ධයෙන් බලධාරීන් වෙත යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තු වන බව ද සඳහන් කර ඇත.

