Homeසියලුම පුවත්මැලේසියාවේ සිට මෙරටට රැගෙන ආ “රත්මලානේ සයිමා” ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

මැලේසියාවේ සිට මෙරටට රැගෙන ආ “රත්මලානේ සයිමා” ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන අද (10) මෙරටට රැගෙන ආ ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් “රත්මලානේ සයිමා” සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සංවිධානාත්මක අපරාධ රැසකට අදාළ තොරතුරු අනාවරණ වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය, මැලේසියානු පොලීසිය සහ ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇතිව සිදුකළ මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

41 හැවිරිදි මෙම සැකකරුට එරෙහිව පැහැරගෙන ගොස් පහරදීමක් සහ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවතින බව පොලීසිය පවසයි. එම නඩු සඳහා අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විවෘත වරෙන්තුද නිකුත් කර තිබේ.

මීට අමතරව, ගල්කිස්ස ප්‍රදේශයේදී සිදුවූ මුදල් මංකොල්ලයක් සහ අත්බෝම්බයක් සන්තකයේ තබාගැනීමක් සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව නීතිමය කටයුතු සිදුව ඇති බව සඳහන් වේ.

පොලිස් විමර්ශනවලදී තවදුරටත් අනාවරණ වී ඇත්තේ “රත්මලානේ සයිමා” සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ මූල්‍ය කටයුතු සහ සමාජ මාධ්‍ය කටයුතු සඳහා සම්බන්ධ වී සිට ඇති බවයි.

එමෙන්ම, කංජිපානි ඉම්රාන්ගේ උපදෙස් මත තවත් අපරාධකරුවෙකුට මැලේසියාවේ රැඳී සිටීමට පහසුකම් සැලසීම සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණ වී ඇති බව පොලීසිය පවසයි.

සැකකරු සමඟ මැලේසියාවේදී අත්අඩංගුවට ගත් තවත් පුද්ගලයින් දෙදෙනෙකුද වැඩිදුර විමර්ශන සඳහා අද මෙරටට රැගෙනවිත් තිබේ.

සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පොලිස්පතිවරයාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments