මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 73ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ මේ වනවිට දිවයින පුරා සමස්ත ඩෙංගු රෝගීන් 96,228 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
සැප්තැම්බර් මාසයේ මුල් දින 4 තුළ පමණක් ඩෙංගු රෝගීන් 737 දෙනෙකු වාර්තා වී තිබේ.
දත්ත අනුව මේ වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර, එම සංඛ්‍යාව 29,964කි.
මීට අමතරව ජුනි මාසයේදී රෝගීන් 21,533ක්, අගෝස්තු මාසයේදී 10,155ක්, මැයි මාසයේදී 8,590ක් සහ ජනවාරි මාසයේදී 7,866ක් වාර්තා වී තිබේ.
පළාත් මට්ටමින් සලකා බැලීමේදී වැඩිම බලපෑමක් බස්නාහිර පළාතට එල්ල වී ඇති අතර, සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 52.84%ක් එනම් රෝගීන් 50,851ක් එම පළාතෙන් වාර්තා වී ඇත.
එමෙන්ම දකුණු පළාතෙන් ඩෙංගු රෝගීන් 13,950ක්, මධ්‍යම පළාතෙන් 8,818ක් සහ සබරගමුව පළාතෙන් 7,925ක් වාර්තා වී තිබේ.

