කිලිනොච්චිය, උරුත්තිරපුරම්, ශිවනගර් ප්රදේශයේදී සීයා විසින් පැදවූ කැබ් රථයකට යටවීමෙන් අවුරුදු එකහමාරක් වයසැති කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
නිවසේ මිදුලේ නවතා තිබූ කැබ් රථය සීයා විසින් පසුපසට ගැනීමට යාමේදී දැරිය ඒ දෙසට පැමිණ ඇති අතර, එහිදී ඇය කැබ් රථයේ රෝදයකට හසුවී ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය වහාම කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, ඒ වනවිටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
මියගිය දැරියගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව ඥාතීන් වෙත භාරදීමට නියමිතව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

