කොළඹ වරායේ බහාලුම් අංගනයක බහාලුමක් තුළ තිබී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472ක තොගය ඩුබායි සිට පාකිස්තානයට පලාගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පරෙවි සුදා නමැත්තා විසින් මෙරටට එවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
මෙම ජාවාරමට අංගොඩ ප්‍රියන්ත සහ රූබන් නමැති පුද්ගලයින්ද සම්බන්ධ බවට පොලීසිය සැක කරන අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
අදාළ මත්ද්‍රව්‍ය සහිත බහාලුම මොරොක්කෝව වෙත ප්‍රතිඅපනයනය කිරීමට සූදානම් කර තිබූ බවට වාර්තා වුවද, පොලීසිය සැක කරන්නේ මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒම අරමුණ වී ඇති බවයි.
විදෙස්ගතව සිටින පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලැබුණු තොරතුරක් මත කොළඹ වරායේ සැකසහිත බහාලුමක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව පසුගිය 28 වැනිදා අධිකරණ නියෝගයක් ලබාගත් පොලීසිය, ඊයේ (31) දිනයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ රේගු නිලධාරීන්ගේ සහාය ඇතිව බහාලුම පරීක්ෂා කර තිබේ.
එහිදී තුවා තුළ සඟවා තිබූ කිලෝග්‍රෑම් 472ක් පමණ බරැති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත.
වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරට ව්‍යාපාරිකයෙකුගේ නමින් එවා ඇති බවයි.
ඒ අනුව දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ආරුමුගන් ශෂිදරන් නමැති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත ජම්පටාවීදිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක රැඳී සිටි පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.
එම පාකිස්තාන ජාතිකයින් දෙදෙනා ප්‍රකාශ කර ඇත්තේ දෙමටගොඩ ව්‍යාපාරිකයාගේ ආයතනය හරහා අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වීමට කටයුතු කළ බවයි.

