අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ බවට පළවන කරුණ සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඔහු සඳහන් කළේ පසුගියදා තමන් සහ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මල්වතු, අස්ගිරි සහ රාමඤ්ඤ නිකායේ මහනායක හිමිවරුන් හමුවී අධිකරණ ප්‍රතිසංස්කරණ හා යෝජිත 22 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කළ බවයි.
රට තුළ දිගු කාලයක් පුරා පවතින නඩු කටයුතු කඩිනමින් අවසන් කර ජනතාවට සහනයක් ලබාදීම මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණක් බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය.
එමෙන්ම මෙම සංශෝධන කිසිදු එක් විනිසුරුවරයෙකු ඉලක්ක කර සිදුකරන ක්‍රියාවලියක් නොවන බවත්, උපරිමාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවන් ඇතුළු සියලු අධිකරණවල විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් වෙනස්කම් සිදුකිරීමට යෝජනා කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
මහනායක හිමිවරුන්ට මෙම කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව එම ක්‍රියාවලිය පිළිබඳව ඔවුන්ට ඇති ගැටලු පැහැදිලි වූ බවද නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

